Monday, November 18, 2024

General line - 0115112241

ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්




හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකාර යුවළ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.  

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වාත් ඔහුගේ බිරිඳ නොවැම්බර් 22 වනදා දක්වාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් මිරිහාන ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී නීති විරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පසුගියදා සොයා ගැනුනා.

ඉන් අනතුරුව එම සිද්ධියට අදාළව ලොහාන් රත්වත්තේ මහතා පසුගිය ඔක්තෝබර් මස 30 වනදා කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මිරිහාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

අනතුරුව ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුව එම සිද්ධියට අදාළව ඔහුගේ බිරිඳ වන ශෂිප්‍රභා රත්වත්තේ මහත්මිය ද පසුගිය නොවැම්බර් 04 වනදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අනතුරුව නොවැම්බර් 07 වනදා සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළේ,

සැකකරුවන් අද දිනය දක්වා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසයි.

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද යළිත් වරක් ප්‍රතික්ෂේප කළා.