Tuesday, November 19, 2024

General line - 0115112241

බෙලරූස්හීදී කොටු වූ කංජිපානි හා ලොකු පැටී මෙරටට ගෙන්වා ගැනීමට වැඩ ඇරඹේ




බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී නැමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම බෙලරූස් රාජ්‍යය පිලිගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බෙලරූස් රාජ්‍යයෙන් ඉදිරි දින කිහිපය තුළදී ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී සමඟ රොටුඹ අමිල නැමැත්තාද අත්අඩංගුවට ගෙන බෙලරූස් රාජ්‍යයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටිනවා.

ඒ, නීති විරෝධී ලෙස එරටට ඇතුළු වීමේ චෝදනා මතයි.

ඔවුන් බෙලරූස් රාජ්‍යයට ඇතුළු වීම සඳහා ඉදිරිපත් කර ඇති ගමන් බලපත්‍ර සහ වීසා ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා බව අනාවරණවී තිබෙනවා.

එම අපරාධකරුවන් යලි මෙරටට පිටුවහල් කිරීමට බෙලරූස් රජය අනුමැති ලබා දුන්නහොත් පැය 24ක් ඇතුළත ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තනේතුව කටයුතු යොදා ඇත්තේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර ජාත්‍යන්තර සබඳතා නොමැති බැවින් එම කටයුතු සිදුවන ආකාරය කෙසේද යන්න මෙතෙක් නිෂ්චිතව තීරණය වී නැහැ. 

ලොකු පැටී නැමැත්තා රතු වරෙන්තු නිකුත් කර ඇති අපරාධකරුවෙකු වන අතර කංජිපානි ඉම්රාන්ට මීට පෙර නිකුත් කර තිබූ රතු වරෙන්තුවක් අවලංගු වී තිබුණා.

ඒ ඊට අදාළ නඩුවකින් ඔහු නිදහස් වීම හේතුවෙන්.

කෙසේවෙතත් කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමට දින දෙකකට පමණ පෙර ඔහුට එරෙහිව නැවත වරක් රතු වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුනේ.