Tuesday, November 19, 2024

General line - 0115112241

තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ රට විය යුතුයි - ජනාධිපති




පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා වාණිජමය ආයෝජන හරහා ගෝලීය මූල්‍ය පහසුකම් ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වන බවත්, වැවිලි ක්ෂේත්‍රය වතු ව්‍යාපාරවල සිට කෘෂි ව්‍යාපාර දක්වා පරිවර්තනය කිරීම, තිරසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම හා ඩිජිටල්කරණය ඒ වෙනුවෙන් ක්‍රියාවට නංවා තිබෙන ප්‍රධාන වැඩසටහන් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

අද කොළඹ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය පිළිබඳ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් “පැහැපත් අනාගතයක් සඳහා තිරසර මංපෙත්” යන තේමාව යටතේ මෙම සමුළුව සංවිධානය කර තිබුණා.

පරිසර, සමාජ සහ පාලනය යන ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් 15 දෙනෙකු පමණ තිරසරභාවය සඳහා පරිවර්තනය වීම වෙනුවෙන් වැදගත්වන දැනුම, අවබෝධය සහ නවෝත්පාදන විසඳුම් බෙදා ගැනීම වෙනුවෙන් ඊට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත පරිසර, සමාජීය හා පාලනය පිළිබඳ විශිෂ්ටතා සම්මාන පිරිනැමීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා.