Monday, November 18, 2024

General line - 0115112241

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම අද පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ, එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ හදිසියේ අර්බුදකාරී තත්ත්වයක් මතු වුණේ ජනපති අපේක්ෂකත්වයට පත් කරනු ඇතැයි වාර්තා පළ වී තිබූ ව්‍යාපාරික ධම්මික පෙරේරා එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.

ලිපියක් යොමු කරමින් ඔහු පවසා තිබුණේ පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බවයි.

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තමාගේ නම යෝජනා කර තිබූ බව ව්‍යාපාරික ධම්මික පෙරේරා සිය ලිපිය මගින් දන්වා තිබුණා.

එවන් පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද උදෑසන 07ට පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරෙන බවටයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඊයේ පස්වරුවේ නිවේදනය කර තිබුණේ. 

කෙසේවෙතත් ජනාධිපති අපේක්ෂකයා හදිසියේ වෙනස් වීම හේතුවෙන් ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද උදෑසන 08යි 30 දක්වා කල් දැමීමටයි සිදු වුණේ.

පසුව පක්ෂ කාර්යාලයට රැස්ව සිටි විශාල පාක්ෂිකයින් පිරිසක් මධ්‍යයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.


ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ පක්ෂය හැර ගිය ඕනෑම අයෙකුට යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් විය හැකි බවයි. 


රාජ්‍ය අමාත්‍ය ඩි වී චානකද මෙහිදී අදහස් පළ කළා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසියේ 2010 වසරේදීයි.

පසුව 2020 - 2022 ආණ්ඩුවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේද නාමල් රාජපක්ෂයි.

පසුව බැසිල් රාජපක්ෂගේ ඉවත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කෙරුණා.