Monday, November 18, 2024

General line - 0115112241

ක්ලබ් වසන්ත ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් පලා ගිය බස් රථය අත්අඩංගුවට




අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයකදී ව්‍යාපාරික ක්ලබ් වසන්ත ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් පලා ගිය බස් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මතයි.

ඒ අනුව වෙඩික්කරුවන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පලායෑමට භාවිත කළ බස් රථය, කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබිය දී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, ඉකුත්  ජූලි මස 8 වන දින අතුරුගිරිය පොලිස් වසමේ දී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ, අදාළ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන්. ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේදීයි. ඔහු අවුරුදු 36ක් වූ දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

අතුරුගිරියේ ඝාතනයට පෙර සැකකරුවන්ට කුලී නිවසක් ලබාගැනීම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කර දී ඇත්තේ මෙම සැකකරු බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම ඝාතන සිද්ධියට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 11 දෙනෙක්.