Monday, November 18, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ විරෝධාතා පිටුපස පකිස්තානය ද?




ජමාත්-ඊ-ඉස්ලාමි ව්‍යාපාරයේ බංග්ලාදේශයේ ශිෂ්‍ය අංශය වන ඉස්ලාමි චත්‍ර ෂිබීර් (අයිසීඑස්) බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතා සහ පසුව ඇති වූ ව්‍යාකූලත්වයේ මහ මොළකරු ලෙස මතු වී ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියා ටුඩේ වාර්තා කර තිබෙනවා.

එම රැඩිකල් ශිෂ්‍ය සංවිධානයට ෂීක් හසීනා බලයෙන් පහ කිරීමට අවශ්‍ය පකිස්තාන බුද්ධි ඒජන්සිය වන අයිඑස්අයි හි පිටුබලය ඇතැයි විශ්වාස කෙරෙන බවයි එහි දැක්වෙන්නේ.

හසීනාට සඳුදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේ ධූරයෙන් ඉවත් වී රට හැර යාමට හමුදාව ඇයට විනාඩි 45ක කාලයක් ලබා දීමෙන් පසුවයි.

පසුගිය වසර දෙක තුළ බොහෝ ඉස්ලාමීය චත්‍ර ෂිබීර් සාමාජිකයින් බංග්ලාදේශයේ විවිධ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වී ඇති බව ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් විශ්ව විද්‍යාල සිසුන් උසිගැන්වීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුව බවයි පැවසෙන්නේ.

මේ අනුව, ආන්දෝලනාත්මක රජයේ රැකියා සඳහා වන කෝටා  ක්‍රමයට එරෙහිව පසුගිය මාස දෙක තුළ පාරට බැස්සේ විශ්වවිද්‍යාල සිසුන් පමණක් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉස්ලාමි චත්‍ර ෂිබීර් හි ප්‍රධාන මධ්‍යස්ථාන වන්නේ ඩකා විශ්ව විද්‍යාලය, චිතගොං විශ්ව විද්‍යාලය, ජහන්ගීර් විශ්ව විද්‍යාලය, සිල්හෙට් විශ්ව විද්‍යාලය සහ රාජ්ෂාහි විශ්ව විද්‍යාලයයි. 

පසුගිය වසර තුන තුළ විශ්ව විද්‍යාල මැතිවරණ ජයග්‍රහණය කළ සියලුම ශිෂ්‍ය සංවිධාන ඉස්ලාමීය චත්‍ර ෂිබීර්ගේ සහාය ඇතිව ජයග්‍රහණය කිරීම සිත්ගන්නා කරුණකි. ICS සංවිධානය පකිස්තාන බුද්ධි ඒජන්සිය වන අයිඑස්අයි සමග ඉතා ගැඹුරු සම්බන්ධතා ඇති බවට විශ්වාස කෙරෙන අතර එහි සාමාජිකයන් බොහෝ දෙනෙක් පකිස්ථානයට ගොස් ඇතැයි ද සදහන්.

ජමාත්-ඊ-ඉස්ලාමි සහ එහි ශිෂ්‍ය අංශය විරෝධතා ප්‍රයෝජනයට ගනිමින් ප්‍රචණ්ඩත්වය උසිගන්වන බවට ෂෙයික් හසීනා චෝදනා කර තිබුණි.