Wednesday, January 15, 2025

General line - 0115112241

නවසීලන්තයට එරෙහි දෙවන එක්දින තරගය ජය ගැනීමට දියත් කළ සැලසුම මහීෂ් තීක්ෂණ හෙළි කරයි

කමල් සුරවීර




කුසල් මෙන්ඩිස් සමඟ මනා සබඳතාවයකින් යුක්තව ක්‍රීඩා කිරීම හේතුවෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට හැකි වූ බව මහීෂ් තීක්ෂණ පවසනවා.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයෙන් අනතුරුව පැවැත් වුණු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී මාධ්‍යවේදීන් නැගූ තවත් ප්‍රශ්න කිහිපයකට මහීෂ් තීක්ෂණ පිළිතුරු ලබාදුන්නා.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුලු 03 කින්.

ඒ, ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවයි.  

අවස්ථා කිහිපයකදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවූ නිසා තරගය පන්දුවාර 47 කට සීමා කිරීමට තරග තීරකවරයා තීරණය කළා. 

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් සංචාරක නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45 යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 209 ක්.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 03 බැගින් බිඳ හෙලුවා. 

ජයග්‍රාහී ලකුණු 210 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 ක් අවසානයේ කඩුලු 07 ක් පමණක් දැවී තරගය ජය ගත්තා.

කුසල් මෙන්ඩිස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 74 ක්. පැතුම් නිස්සංක ලකුණු 28 ක් ද මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27 ක් ද රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් වාර්තා කළේ වසර 12 කට පසුව වීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලබන 19 වනදා පස්වරු 02.30 ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.