Sunday, November 17, 2024

General line - 0115112241

මෝදි ඓතිහාසික යුරෝපා සංචාරයකට සැරසෙයි




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ යුරෝපා සංචාරය හෙටින් ආරම්භ වනවා.

ඒ අනුව ඔහු හෙට පෝලන්තයට පැමිණීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම සංචාරය වසර 45කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු පෝලන්තයේ සංචාරය කරන පළමු අවස්ථාව බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

දෙරට 2024 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරමින් මෙම සංචාරය සිදු කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

''අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක්ගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ සතියේ අගෝස්තු 21 සහ 22 යන දිනවල පෝලන්තයේ නිල සංචාරයක නිරත වනු ඇති බව සඳුදා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ලේකම් තන්ම‍යා ලාල් පැවසුවා.

මේ අතර පෝලන්ත සංචාරයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්‍රේනය බලා පිටත්ව යාමට නියමිතයි.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ අග්‍රාමාත්‍යවරයා එළඹෙන සිකුරාදා එනම් අගෝස්තු 23 වනදා යුක්‍රේනයට පැමිණෙන බවයි.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කිගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරෙන බව ද 
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළා.

වසර 30කට පමණ පෙර දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගැනීමෙන් පසු ඉන්දීය අගමැතිවරයකු යුක්‍රේනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

යුක්‍රේන රුසියානු ගැටුමට සාමකාමී විසඳුමක් සෙවීම සඳහා හැකි සෑම සහයෝගයක් සහ දායකත්වයක් ලබා දීමට ඉන්දියාව සූදානම් බව මෝදිගේ යුක්‍රේන සංචාරය නිවේදනය කරමින් ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසා තිබෙනවා