Sunday, November 17, 2024

General line - 0115112241

කල් දැමූ පුංචි ඡන්දය කඩිනමින් පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

උදය කුමාර




ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

ඒ අනුව අදාළ ඡන්ද විමසීම නොපමාව පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළේ.

එවක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතිඥ නිමල් පුංචි හේවා සහ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ එස් බී දිවාරත්න, ඒම් එම් මොහොමඩ්, කේ පී පී පතිරණ, පී එස් එම් චාල්ස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් එම තීන්දුවේ සඳහන් වුණා. 

අදාළ ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළා. 

පිටු 151කින් සමන්විත වූ මෙම නඩු තීන්දුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන විනිසුරවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර විසින් ප්‍රකාශයට පත් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ගාමිණී අමරසේකර මැතිවරණ කොමිසමේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කරුණු දක්වා සිටියා.

ඊට අමතරව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලියට දායකවී තිබෙන ආකාරයද විනිසුරු ගාමිණී අමරසේකර සිය තීන්දුවේ මෙසේ දක්වා සිටියා.

ඒ අනුව 2023 වසරේ නොපැවැත්වුණු පළාත් පාලන ඡන්ද විමසීම නොපමාව පැවැත්වීමට පියවර ගත යුතු බවත් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී ඇති බලතල ක්‍රියාවේ යොදවා සෙසු රාජ්‍ය ආයතනවල ද සහය ලබාගෙන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට කළ නියෝගයේ සඳහන් වුනා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබූ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කටයුතු කර තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත බවත් ඒ අනුව ඔහු මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලියට දායක වී ඇති බව තහවුරු කෙරෙන කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොතිබූ බවත් විනිසුරුවරයා සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ද මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණද මෙම ඡන්ද විමසීම නොපැවැත්වීමට අදාළ කටයුතුවලට ඔවුන් දායක වී ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් ඔවුන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට දායක වී නොමැති බවත් තීන්දුවේ සඳහන් වුණා.

ඊට අමතරව පෙත්සම්කරුවන්ට රුපියල් එක් ලක්ෂ 50,000 බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බවත් රජයට නියෝග කෙරුණා.