කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබී තිබූ පැමිණිල්ලක විමර්ශනවලට අදාළ තොරතුරු පැමිණිල්ලේ පැමිණිලිකාරියට ලබාදීමට මුදල් ඉල්ලූ බව කියන පොලිස් සැරයන්වරියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එලෙස විමර්ශන ආරම්භ කර ඇත්තේ එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයටම අනුයුක්තව රාජකාරී සිදු කරන සැරයන්වරියක් සම්බන්ධයෙන් බවයි වාර්තා වුණේ. විමර්ශනවල තොරතුරු ලබාදීමට රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් සැකකාර සැරියන්වරිය පැමිණිලිකාරියගෙන් ඉල්ලා ඇති බව සඳහන්.
අදාළ මුදල් බැර කිරීම සඳහා සැරයන්වරිය ඇගේ බැංකු ගිණුම් විස්තර ද යවා ඇති බවයි මේ වන විට සිදු කෙරුණු විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
පොලිස් නිලධාරියෙකුගේ පෞද්ගලික තොරතුරු ද මුදල් ලබාගෙන පිටස්තර පාර්ශවයකට මෙම සැරයන්වරිය විසින් ලබා දී ඇතැයි ද වාර්තා වී තිබෙනවා.
එම පොලිස් සැරයන්වරිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේම සේවයේ නියුතු තවත් සැරයන්වරියක විසින් කළ පැමිණිල්ලකට අනුව බවද වාර්තා වුණා.
සැකකාර සැරියන්වරිය විසින් විමර්ශන තොරතුරු මුදල් ලබාගෙන පිටස්තර පාර්ශවයන්ට ලබා ඇති බව කියන පළමු අවස්ථාව මෙය නොවන බවද සඳහන්.
මීට පෙර රට පුරා ආන්දෝලනයක් ඇති කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් විමර්ශනවල තොරතුරුද ඇය මුදල් ලබාගෙන පිටස්තර පාර්ශවයන්ට ලබා දී ඇති බවද වාර්තා වුණා.