ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පවසනවා.
එම ඝාතන සිද්ධියට අදාළ 31 හැවිරිදි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල, කවුඩාන ප්රදේශයේදීයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ මෙහෙයවීම යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් ප්රමුඛ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක්, ෂොඩ් ගන් අවියක්, ටී 56 පතරොම් ඇතුළු විවිධ වර්ගයේ පතරොම් 283ක්, ටී 56 පතරොම් ගැබ් 2ක්, පිස්තෝල පතරොම් ගැබ් 2ක්, අත්විලංගුවක් හා ජංගම දුරකථන 3ක් ඇතුළු දේපළ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 31 හැවිරිදි වෙඩික්කරු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
ඔහු හිටපු යුද හමුදා සෙබලෙකු බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.
සෙසු සැකකරුවන් දෙදෙනා අහුංගල්ල සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
ඉන් එක් සැකකරුවෙකු අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ලබා දීමට කටයුතු කර තිබෙනවා.
අනෙක් සැකකරු විසින් වෙඩික්කරුවන් බස් රථයකින් කතරගම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි අනාවරණවී ඇත්තේ.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉකුත් ජූලි මස 08 වනදායි.
එහිදී ක්ලබ් වසන්තගේ බිරිඳ, ගායන ශිල්පිනී කේ සුජීවා ඇතුළු කිහිප දෙනෙකු ද තුවාල ලැබූවා.
සිද්ධිය සම්බන්ධයෙන් එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 11 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැනුනා.
ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.
කෙසේවෙතත් අදාළ වෙඩි තැබීම සිදුකල වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වුණා.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් මහජන සහාය ද ඉල්ලා තිබුණා.
එවන් පසුබිමක් තුළ එක් වෙඩික්කරුවෙකු තවත් සැකකරුවන් දෙදෙනෙකු සමඟ දෙහිවල, කවුඩාන ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගැනුනා.
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට පැමිණි අනෙක් වෙඩික්කරු සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.