පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් ඒම් ෆවුසිට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ හතරක දඩයක් අද නියම කළා.
ඒ, ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළ අවධියේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් වශයෙන් ලබා දුන් වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට ලබා ගැනීමේ චෝදනාවට අදාළවයි.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ එම නඩුවේ චෝදනා හතරකට මන්ත්‍රීවරයා වරද පිළිගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් තීන්දුව ලබාදුන්නා.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබූ චෝදනා හතරකට වරද පිළිගන්නා බව මන්ත්‍රීවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණා.
ඒ අනුව එක් එක් චෝදනාවකට මාස හය බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම අවුරුදු 10 කට අත් හිටුවන බව නියෝග කළා.
ඊට අමතරව එක් එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් දඩය නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණා.
උදය කුමාර