Saturday, November 16, 2024

General line - 0115112241

පොලිස් අත්අඩංගුවේදී සිදුවන වදහිංසා ගැන අධිකරණයෙන් ප්‍රකාශයක්

උදය කුමාර




පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට භාජනය වීම වැළැක්වීම සඳහා ඉකුත් කාලයේ අධිකරණය විසින් විවිධාකාර නියෝග නිකුත් කර තිබුණත් ඉන්  ප්‍රතිපලයක් අත්වී තිබෙන ආකාරයක් පෙනී නොයන බව ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවා.

කෲර වධ හිංසන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මෙම කරුණු විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

පසුගිය කාලසීමාව තුළ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් වදහිංසාවලට භාජනය වීම වැළැක්වීම සඳහා විවිධාකාර නියෝග, අවවාද, මාර්ගෝපදේශ අධිකරණය විසින් නිකුත් කර ඇති බවයි අධිකරණය හමුවේ කරුණු දැක්වූ විනිසුරුවරයා කියා සිටියේ.

එහෙත් ඒවා ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලට භාජනය කර තිබෙන බවක් නොපෙනෙන බවත් එම තීන්දු සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් පවා ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා ඉදිරිපත් කර නොමැති බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා විසින් මෙම අදහස් පළ කරනු ලැබූවා.

2009 වසරේ කැලණිය විශ්ව විද්‍යාල සිසුන් විසින් සංවිධානය කළ විරෝධතාවයකදී පොලිසිය විසින් තමන්ට පහර දී අවමන් සහගත ආකාරයෙන් සැලකූ බවට චෝදනා කරමින් ඔවුන් එම පෙත්සම ගොනුකර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස එවක පෑලියගොඩ සහ කිරිබත්ගොඩ පොලිස් ස්ථානවල සේවය කළ නිලධාරින් දෙදෙනෙකු, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු තුරෙයි රාජා සඳහන් කළේ මෙම නඩුකරයේ වග උත්තරකරුවන්  විසින් පෙත්සම්කරුවන් ගෙන් සමාව අයැද යම් වන්දියක් ගෙවා නඩුකරය සමථයට පත්කර ගැනීම යෝග්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ ස්ථාවරය විමසා අධිකරණයට දැනුම් දෙන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන්ට දැනුම් දුන් විනිසුරු මඩුල්ල අදාල පෙත්සම යළි ඔක්තෝම්බර් මස 11 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.