මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අද රැස් වනවා.
අද පෙරවරුවේ සිය සාමාජිකයින් රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී රැස්වන බවයි එහි සාමාජිකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට ද මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සූදානම් වන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද විමසීමට අදාළව සුදුසුකම් ලැබූවන්ගෙන් අයදුම්පත් භාර ගැනීම සැප්තැම්බර් 13 වනදා මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතයි.
එම දිනය කිසිසේත් දීර්ඝ නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ ජනාධිපතිවරණයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳවද අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානයට ලක් කරන බවයි.
මේ අතර ජනාධිපතිවරණයට අදාළ තවත් පැමිණිලි 95ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
ඒ අනුව පසුගිය ජූලි 31 වනදා සිට අගෝස්තු 26 වනදා දක්වා ලැබී ඇති මුලු පැමිණිලි සංඛ්‍යාව 1,155ක් වන බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.
වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන 1,100ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළවයි.
දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 605ක් ලැබී තිබෙනවා.
ප්රචණ්ඩ ක්‍රියාවලට අදාළව පැමිණිලි 04ක් සහ වෙනත් පැමිණිලි 51ක් ද දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්තානය වෙත ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.