Saturday, November 16, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගත් නදීන් බාෂික්ට එල්ලවූ චෝදනා මෙන්න




ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පුත්‍රයා වන නදීන් බාෂික් වැල්ලවත්ත පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපලේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදීයි.

ඉකුත් පෙබරවාරි මස 16 වන දින අනතුරක් සිදු කර පලා යාමට අදාළව සහ මිනීමැරිමක් කිරීමට තැත් කර පලා යාම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

පෙබරවාරි මස 16 දින වැල්ලවත්ත නිවාස සංකීර්ණයේ සිදුකල වැටලීමකදී රාජකාරී යෙදී සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීයෙකු අනතුරට පත් කර පොලිස් යතුරු පැදියක් හප්පා පලා ගිය බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

ඒ, වැල්ලවත්ත හැව්ලොක්සිටි අසල දී ලංකාවේ මත්ද්‍රව්‍ය බෙදාහරින බව කියන ප්‍රධාන ස්ථානයක් වැටලමට ගිය අවස්ථාවේදීයි.

එහිදී නදින් බාසික් සහ අංගොඩ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු නිවාස සංකීර්ණයේ ඉදිරිපිට මාර්ගයේ දී රාජකාරි නියුතු විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් අනතුරට ලක් කර පොලිස් යතුරු පැදියකට අලාභානි කර තිබුණා.

පසුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී රත්තරං පවුම් 100ක්, මෝටර් රථ 03 ක යතුරු, හෙරොයින් ග්‍රෑම් 19ක්, ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිඝණකයක්, සහ ඩිරාම් මුදල් 535 ක් සහ ඩොලර් 161 ක් සොයා ගැණුනා. 

එමෙන්ම නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් සහ ගමන් බෑගයක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධ ලිපි ලේඛන ද අත්අඩංගුවට ගත් බවයි ප්‍රකාශ වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගත් 23 හැවිරිදි නදීන් බාසික්ගේ පියා වන ශිරාන් බාසික් මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ගෝඩ් ෆාදර් ලෙස සැලකෙන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.