Friday, November 15, 2024

General line - 0115112241

නිරීක්ෂණ සංවිධානවලට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්




සියලුම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාව වෙත අද පස්වරුවේ කැඳවා තිබෙනවා.

ජනාධිපතිවරණයට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ අවධානයට ලක් කරන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

මේ අතර ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පොලිස් ස්ථානයට ඇතුළු වී පොලිස් නිලධාරින්ට බැන වැඳී අත්අඩංගුවේ සිටි පිරිසක් මුදවා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානයට ලක් කරන බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මේ අතර නීති විරෝධි අයුරින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකල පුද්ගලයින් 06 දෙනෙකු පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිසිය පැවසූවේ ජනාධිපති ධූර අපේක්ෂයෙකුගේ ඡන්ද ලකුණ ප්‍රදර්ශනය කරමින්, නීති විරෝධි අයුරින් යතුරුපැදි පෙළපාලියක නිරතව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.