ප්‍රජා පොලිස් ඒකකයේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කළ බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ලබන ඔක්තෝබර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුර සඳහා පත් කිරීමට කරුණු සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද ජාතික පොලිස් කොමිසමට නියෝග කළා.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම කාන්තා නිලධාරිනියක් වන බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
එම නියෝගය ප්‍රකාශයට පත් කරමින් එස්. තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම්කාරිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම තුළින් ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.
ඒ අනුව ඔක්තෝබර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෙත්සම්කාරිණිය අදාල තනතුරට පත් කිරීම සඳහා කරුණු සලකා බලන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කළා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රජා පොලිස් ඒකකයේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරිය වශයෙන් කටයුතු කළ තම සේවා දායිකාව වසරක කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කිරීම සඳහා විදේශගත වූ බවයි.
වසරක සේවා කාලය අවසාන වී මෙරටට පැමිණීමෙන් පසුව තම සේවා දායිකාවට වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට අවසර නොදුන් බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
මෙලෙස ඇයගේ තනතුර අහිමි කිරීම අයුක්ති සහගත මෙන්ම අත්තනෝමතික ක්‍රියාවක් බවත් මේ තුළින් ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝග නිකුත් කළා.
එහි වග උත්තරකරුවන් ලෙස ජාතික පොලිස් කොමිසම, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනෙකු ඇතුළු 14 දෙනෙකු නම් කර තිබුණා