Saturday, November 9, 2024

General line - 0115112241

ජනපතිට සහය දිය යුත්තේ ඇයි?




ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්‍ෂකයින් සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. 

රට ගැන සිතා සියලු ජනතාව ජනාධිපති ධූර අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.

අභියෝග රැසක් මැද රට භාර ගත් ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් පසුගිය කාලය පුරා සිදු කළ බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ. 

කෙසේවෙතත් ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් බියවී ඇතැමුන් වැරදි තොරතුරු ප්‍රචාරය කරන බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බවයි.

කවුරුන් කුමක් පැවසුවත් ජනාධිපති ධූර අපේක්‍ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව සමගි ජන බලවේගය පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළා.  

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.