Monday, December 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.

ඊයේ දිනයේ තරඟය නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 22ක් රැස් කරගෙන සිටියා.

කේන් විලියම්සන් ලකුණු 06ක් සහ අජාස් පටෙල් කිසිදු ලකුණක් රැස් නොකර කඩුල්ලේ රැඳී සිටිනවා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 09කටත් ටොම් ලැතම් ලකුණු 02කටත් දැවී ගියා. අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් දවා ගත්තා. 

තරඟයේ ප්‍රථමයෙන් පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 602ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

විශිෂ්ට පිති හරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 182ක්.

ඔහුගේ ඉනිමට 06 පහර 04ක් සහ 04 පහර 16ක් ඇතුළත්. එහිදී තවත් සුවිශේෂී වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඒ, අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1,000ක් රැස් කළ ක්‍රීඩකයින් අතර තුන් වන ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් හා සම වෙමින්. කමිඳු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර තිබෙනවා.

අර්ධ ශතක 04ක් සහ ශතක 05ක් සමගින් ඔහු රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 1,002ක්. 

ඔහුට අනගි සහයක් වෙමින් කුසල් මෙන්ඩිස්ද නොදැවී ලකුණු 106ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 116ක්.

ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේ ලකුණු 88ක් රැස් කර සිටියදීයි. දිමුත් කරුණාරත්න ලකුණු 46යි. 

නායක ධනංජය ද සිල්වා ලකුණු 44ක් රැස් කළා.

කෙසේවෙතත් පැතුම් නිස්සංකට රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණයි.

තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.