Monday, December 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලි ජයක් 




ශ්‍රී ලංකා - නවසීලන්තය අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 ට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ඒ ශ්‍රී ලංකා - නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමත් සමගින්.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන සංචාරක නවසීලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 199ක් රැස්කරගෙන සිටියා.

අද තරගේ ආරම්භයත් සමඟ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තවත් කඩුලු 3ක් බිඳ හෙලමින් නවසීලන්ත කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළා.

තරගයේ සිව්වන දිනයට තරගය දිවා ආහාරය සඳහා නරත කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 335ක් ලබාගෙන සිටියා.

නවසීලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 17ක් එක් වෙනවිට ලකුණු 60ක් ලබාගෙන සිටි ටොම් බ්ලන්ඩෙල්ව දවා ගන්නට නිෂාන් පිරීස් සමත් වුනා.

නමුත් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නිෂාන් පිරීස් විසින් පිලිප්ස්ගේ කඩුල්ල දවා ගනිමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ඔහු වාර්තා අතරට එක් වුණේ මංගල ටෙස්ට් තරගයේ කඩුලු 5ක් දවා ගත් 7වැනි ක්‍රිඩකයා ලෙසටය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමේ සුපිරි පන්දු යැවීමක නිරත වූ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කඩුලු 06ක් බිඳ හෙලුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 05ක් දැවී ලකුණු 602ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කමිදු මෙන්ඩිස් ලකුණු 182ක් රැස්කළ අතර දිනේශ් චන්දිමාල් ලකුණු 116ක් රැස්කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 106යි. 

ඊට පිළිතුරු ලෙස සංචාරක නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 88ක් පමණයි.