Wednesday, November 6, 2024

General line - 0115112241

අදත් දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි




බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල සියලුම පාසල් අද සහ හෙට දිනයන්හි වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන තිබෙනවා.

කඩුවෙල සහ කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් ද අද සහ හෙට දිනයන්හි වසා තැබීමට තීරණය කර ඇති බවයි බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂක පී ආර් දේවබන්දු මහතා පැවසුවේ.

එමෙන්ම කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද දිනයේ පමණක් වසා තබන බවද ඔහු කියා සිටියා.

කෙසේවෙතත් අයහපත් කාලගුණ තත්ත්වය වර්ධනය වුවහොත් සෙසු පළාත්වල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරින්ට පවරා දී තිබෙනවා.