Monday, December 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්ත දැල්පන්දු කණ්ඩායමට ආසියානු ශූරතාවය අහිමි වෙයි




ආසියානු කාන්තා දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද සමත් වුණා.

ඒ, සිංගප්පූරු දැල්පන්දු කණ්ඩායම හමුවේ තියුණු තරගයකින් පසු ලකුණු 67 ට - 64 ක් ලෙසින් පරාජයට පත් වීමත් සමඟයි.

13 වන වරට පැවැත් වූ මෙවර ශූරතාවලිය ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ බැංලෝර්හිදී පැවැත් වුණා.

තරගාවලියේ ආරම්භයේ සිටම අවසන් මහා තරගය දක්වාම ශ්‍රී ලංකා දැල්පන්දු කාන්තා කණ්ඩායම අපරාජිතව පැමිණියා.  

ශ්‍රී ලංකා දැල්පන්දු කාන්තා කණ්ඩායමට එලෙස අහිමි වූයේ 7 වන වරටත් ආසියානු ශූරියන් ලෙසින් කිරුළ පැළදීමට තිබූ අවස්ථාවයි.

ශ්‍රී ලංකා දැල්පන්දු කාන්තා කණ්ඩායම 2018 වසරේ සහ 2022 වසරේ ආසියානු ශූරියන් බවට පත් වූ අතර 1989, 1997, 2001 හා 2009 වර්ෂයන්හි ද ආසියානු ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම මීට පෙර 1985, 2012, 2014 හා 2016 වර්ෂයන්දී ද අනුශූරියෝ බවට පත්ව තිබෙනවා.

මේ අතර අද ලැබූ ජයග්‍රහණයත් සමඟ වසර 10 කට පසු ආසියානු දැල්පන්දු ශූරතාවලියක් ජයග්‍රහණය කිරීමට සිංගප්පූරු කණ්ඩායම අවස්ථාව හිමි වුණා.

මෙය ඔවුන් ජයග්‍රහණය කළ 4 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියයි. මීට පෙර 2005, 2012 හා 2014 වර්ෂයන්හි ඔවුන් ශූරතාව දිනා තිබෙනවා.