Saturday, November 2, 2024

General line - 0115112241

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුර ආචාර්ය හාන්ස් විජයසූරියට




ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, එම පත්වීම සිදු කර තිබෙනවා.

කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා එම පත් කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් යන අංශවලින් ගෝලීය ප්‍රමිතියට ළඟා වීම රජයේ අපේක්ෂාවයි. පුරවැසියන් සවිබල ගැන්වීම උදෙසා ඩිජිටල් පොදු යටිතල පහසුකම් ස්ථාපිත කිරීම මඟින් බහු-ආංශික ඩිජිටල් පරිවර්තනයක් සඳහා  රජය දැඩිව කැප වී සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අනුව, වේගවත් ඩිජිටල් ආර්ථිකයකට සහ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට තුඩු දෙන ආර්ථික හා සමාජ සංවර්ධනයට අදාළ සාම්ප්‍රදායික සංවර්ධන අවස්ථා ග්‍රහණය කර ගැනීමට හැකි වන පරිදි නවීන තාක්ෂණය භාවිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. 

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාගේ පත්වීම එම දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා වන ප්‍රධාන පියවරක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.