Thursday, January 16, 2025

General line - 0115112241

දසවන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරන මහමැතිවරණය අද




10 වන පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මහමැතිවරණය අද පැවැත්වෙනවා.

ඡන්ද විමසීම උදෑසන 07ට ආරම්භ වන අතර එය අවසන් වන්නේ සවස 04ටයි. ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය පැවැත්වීමට නියමිතයි.

මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද දායකයින් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354ක් සුදුසුකම් ලබා තිබෙනවා.

තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අයදුම් කර තිබූ සංඛ්‍යාව හත් ලක්ෂ 38,050ක්. 

පොළොන්නරුව, මොණරාගල සහ කෑගල්ල යන මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා එක් තීරුවකින් සමන්විත වන අතර සෙසු මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකින් සමන්විතයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 225ක් වෙනුවෙන් තරඟවදින අපේක්‍ෂකයින් සංඛ්‍යාව 8,352ක්. ඉන් 5,006 දෙනෙකු ඉදිරිපත් වන්නේ දේශපාලන පක්ෂවලින්. ස්වාධීන අපේක්‍ෂකයින් ලෙස 3,346 දෙනෙකු තරඟවදිනවා.

පැෆ්රල් සංවිධානයේ දත්තවලට අනුව සමස්ත අපේක්‍ෂකයින්ගෙන් සක්‍රීයව මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී ඇත්තේ 1,000කට ආසන්න පිරිසක්. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර 29ක් වෙනුවෙන් ඉදිරිපත්ව ඇති සංඛ්‍යාව 469ක්.

මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු තෝරාගැණෙන අතර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 29 දෙනෙකු තෝරා ගැනීමටයි නියමිතව ඇත්තේ.

මෙවර මහමැතිවරණයේදී වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා ගැනෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 19ක්.

ඒ වෙනුවෙන් තරඟවදින අපේක්‍ෂකයින් සංඛ්‍යාව 902ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 18ක් සහ කුරුණෑගලින් 15ක් ලෙස මන්ත්‍රීවරුන් තෝරා ගැනෙනවා. 

අඩුම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා ගැනෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 04ක්. වැඩිම අපේක්‍ෂකයින් සංඛ්‍යාවක් තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයටයි.

එම සංඛ්‍යාව 966ක්. අඩුම අපේක්‍ෂකයින් සංඛ්‍යාවක් තරඟවදින්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 120ක් වනවා. 

නව මහජන නියෝජිතයිනගෙන් සමන්විත 10 වන පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා ආරම්භ වීමට නියමිතයි.