Wednesday, January 15, 2025

General line - 0115112241

වෙලේ සුදාට සහ බිරිඳට කෝටි 15ක දඩයක් - කෝටි ගණනක දේපළත් රාජසන්තක කෙරේ

උදය කුමාර




කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 08ක සිර දඬුවම් නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට අයිතිව තිබූ රුපියල් කෝටි ගණනක දේපළ සහ මුදල් රාජසන්තක කර තිබෙනවා. 

වෙලේසුදා, ඔහුගේ බිරිඳ සහ තවත් ඥාති සහෝදරියකට මෙලෙස බරපතල වැඩ සහිත වසර 08ක සිර දඬුවම් නියම වුණේ හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි 17කට අධික දේපළ හා මුදල් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කරමින්.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. 

මෙහි විත්තිකාරියන් ලෙස නම් කර තිබු වෙලේ සුදා නමැත්තාගේ බිරිඳ වන ගයනී ප්‍රියදර්ශනී සහ ඥාති සොහොයුරියක වූ වසන්ති වසුන්දරා යන අයට ද මෙහිදී දඬුවම් නියම වුණා. 

එමෙන්ම මෙම නඩුවේ පළමුවන විත්තිකාරිය වශයෙන් නම් කර තිබූ වෙලේ සුදාගේ බිරිඳ වන ගයනී ප්‍රියදර්ශනී නමැත්තියට රුපියල් කෝටි 12කට අධික දඩයක් ද වෙලේ සුදා නැමැත්තාට රුපියල් කෝටි තුනකට අධික දඩයක් ද නියම කළා. 
 

ඊට අමතරව නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් කෝටි 17කට අධික දේපළ, මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා. 
 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ පළමුවන විත්තිකාරිය සහ දෙවන විත්තිකරු අඹු සැමියන් බැවින් ඔවුන්ට එරෙහිව කුමන්ත්‍රණ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ තර්කය පිළිගත නොහැකි බවයි. 

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 04 වන වගන්තියට අනුව යම් පුද්ගලයකු විසින් අත්පත් කර ගෙන සිටින නිශ්චල සහ චංචල දේපල නිත්‍යානුකූල ආදායම් මාර්ගයකින් අත්පත් කරගත් බව ඔප්පු කිරීමට අසමත් වන අවස්ථාවක එම දේපළ නීති විරෝධී ලෙස අත්පත් කරගත් දේපළ ලෙස සැලකෙන බව විනිසුරුවරයා සඳහන් කළා.
 

ඒ අනුව විත්තිකරුවන් ණය දෙන ආයතනයක් එනම් පුද්ගලික සමාගමක් පවත්වාගෙන ගිය බව සඳහන් කර තිබුණ ද, එම සමාගමේ ලේකම්වරියගේ සාක්ෂියට අනුව එම සමාගම ලියාපදිංචි කර තිබුණ ද, එය සක්‍රිය ලෙස පවත්වාගෙන නොයාම හේතුවෙන් එහි ලියාපදිංචිය ඉවත් කර තිබූ බව අනාවරණය වූ බවයි විනිසුරුවරයා පෙන්වා දුන්නේ.
 

විත්තිකරුවන්ට වෙනත් ස්වාධීන ආදායම් මාර්ගයක් තිබූ බව නඩු විභාගයේදී කරුණු අනාවරණය නොවූ පෙන්වා දුන් විනිසුරුවරයා, ඒ අනුව මෙම නඩුවට පාදක වන නිශ්චල සහ චංචල දේපල හෙරොයින් ජාවාරම තුළින් උපයාගත් මුදල් වලින් අත්පත් කර ගෙන තිබෙන බව පැහැදිලි වන බවත් සඳහන් කර සිටියා. 

මෙලෙස නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා මෙම විත්තිකරුවන් එකගතාවයක් ඇතිව කටයුතු කර තිබෙන අතර ඒ අනුව විත්තිකරුවන් මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරු කරන බවත් සඳහන් කළා.
 

ඉන් අනතුරුව විත්තිකාර වෙලේ සුදා හා ඔහුගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායකයින් තිදරු මව්පියන් බවත් ඔවුන්ගේ එක් පුත්‍රයෙකු හෘද රෝගී තත්වයකින් පසුවන බවයි. 

මෙම වරද සිදු වූ කාල සීමාවේ තම සේවාදායකයා වන වෙලේ සුදා විදේශ ගතව සිටි අතර මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
 

තුන්වන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායිකාව දෙදරු මවක් වන අතර ඇයට පෙර වැරදි නොමැති බවත් සඳහන් කළා. 

මෙම කරුණු සැලකිල්ලට ගෙන ඇයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
 

දඩුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම විත්තිකරුවන් නීති විරෝධී ලෙස මෙම නිශ්චල සහ චංචල දේපල අත්පත් කරගෙන ඇති බව තහවුරු වී ඇති බවයි. 

එබැවින් මෙවැනි වැරැදි සිදු කරන පුද්ගලයින්ට හා සමාජයට පණිවුඩයක් දියහැකි සුදුසු දඩුවමක් නියම කරන ලෙසයි ඉල්ලා සිටියේ.
 

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර තම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට අවස්ථාව තිබෙන බවත් සඳහන් කර සිටියා.
 

2010 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2012 වසරේ අප්‍රේල් මස 25 වනදා අතර කාලසීමාව තුළ හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි 17කට අධික නිවාස, දේපළ, මුදල්, ස්වර්ණාභරණ අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකලා යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.
 

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් මුදල්වලින් අත්පත් කරගෙන තිබූ රාජගිරිය රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේ සහ බගතලේ පාරේ මෙන්ම මැකාදි සුපිරි නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා නිවාස කිහිපයක්, අධි සුඛෝපභෝගී වාහන 04ක් හා රන් ආභරණ කිලෝ තුන හමාරක් රාජසංතක කිරීමට විනිසුරුවරයා මෙහිදී නියෝග කළා. 

ඊට අමතරව විත්තිකරුවන්ගේ නමින් පවත්වාගෙන ගිය රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදල් තැන්පතු සහිත බැංකු ගිණුම් කිහිපයක් ද රාජසන්තක කිරීමට ද නියෝග කෙරුණා.