Thursday, January 16, 2025

General line - 0115112241

මහ මැතිවරණයෙන් ජයගත් මාලිමාවෙන් වාර්තා රැසක්




මෙවර මහමැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගය විසින් වාර්තා රැසක් පිහිටුවා තිබෙනවා.

මහ මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය මෙවර හිමි කර ගැනීම ඒ අතරට අයත්.

මෙවර එම පක්ෂය සියයට 61යි දශම 5යි 6ක ප්‍රතිශතයක් හිමි කර ගත්තා. මීට පෙර 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සියයට 60යි දශම 3යි 3ක් හිමිකරගෙන තිබුණා.

එමෙන්ම මහමැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාස ගණන වන 152ක් හිමි කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා. මීට පෙර එනම් 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාශ 136ක් හිමිකර ගත්තා.

මෙවර මහමැතිවරණයෙන් දිස්ත්‍රික්ක 21ක් ජයග්‍රහණය කිරීමෙන්ද වාර්තාවක් පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත් වුණා.

ඒ, මහ මැතිවරණයකදී වැඩිම දිස්ත්‍රික් සංඛ්‍යාවක් දිනා ගත් පක්ෂය ලෙසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය මීට පෙර එම වාර්තාවක් තැබුවා. ඒ, 2010 වසරේදී දිස්ත්‍රික්ක 19ක් ජයග්‍රහණය කරමින්. 

මෙවර මහ මැතිවරණයේදී ඡන්ද හැට අට ලක්ෂ 63,186 ක් ජාතික ජන බලවේගය ලබා ගැනීම ද එම පක්ෂය පිහිටවූ තවත් වාර්තාවක්.

ඒ මහ මැතිවරණයක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව ලෙසයි. මීට පෙර 2020 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද හැට අට ලක්ෂ 53,960 ක් ලබා ගත්තා.

දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණනට හිමි වාර්තාවට ද හිමිකම් කීමට ජාතික ජන බලවේගය සමත් වුණා.

ඒ, ආසන 141 ක් හිමි කර ගනිමින්. 2020 දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 128 ක් හිමි කර ගත්තා.

මෙවර මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තු ආසන 18ක් හිමි වුණා.

එය පක්ෂයක් විසින් මහ මැතිවරණයකදී හිමි කරගත් වැඩිම ජාතික ලැයිස්තු ආසන ගණන වනවා.

මීට පෙර එනම් 2020 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු ආසන 17ක් හිමි කර ගත්තා. 

එමෙන්ම මහ මැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන ගණනට හිමි වාර්තාව තමන් සතු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.        

ඒ, සමස්ත ආසන 159 ක් හිමි කර ගනිමින්.

සමස්ත ආසන 145 ක් හිමි කර ගනිමින් 2020 වසරේදී එම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. 

සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් ආසන තුනෙන් දෙකක් තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව මෙය වනවා.

එමෙන්ම 2020 මහ මැතිවරණයේදී සියයට 3 යි දශම 8යි 4ක් හිමි කරගෙන සිටි ජාතික ජන බලවේගය රටක ඉතිහාසයේ මෙතරම් වාර්තා පිහිට වූ පළමු අවස්ථාව ද මෙය වනවා.

මේ අතර 2020 වසරේ මහ මැතිවරණ ප්‍රතිඵල අනුව මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය පසුබෑමකට ලක්වුණා.

2020 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය ඡන්ද විසිහත් ලක්ෂ 71,984ක් ලබා ගත්තා. 

ඒ අනුව එම වසරේදී සමගි ජන බලවේගයට ආසන 47ක් සහ ජාතික ලැයිස්තු ආසන 07ක් සමගින් හිමි වූ සමස්ත ආසන ගණන 54ක්.

එහෙත් මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට හිමිවූ සමස්ත ඡන්ද සංඛ්‍යාව දහනව ලක්ෂ 68,716 ක් වනවා.

ආසන 28ක් සහ ජාතික ලැයිස්තු ආසන 05ක් සමගින් එම පක්ෂයට හිමිවූ ආසන ගණන 40ක්. ඒ අනුව ගිය වර මහ මැතිවරණයෙන් හිමි කර ගත් ආසන ගණනට අනුව ආසන 14ක් සමගි ජන බලවේගයට අහිමි වී තිබෙනවා.  

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද පනස් හත් ලක්ෂ 40,179 ක් හිමිකර ගත්තා.

සජිත් ප්‍රේමදාස මහතාට එහිදී හිමිකර ගත හැකි වූයේ ඡන්ද හතලිස් පන් ලක්ෂ 30,902 ක් පමණයි.

මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට හිමිවූ සමස්ත ඡන්ද සංඛ්‍යාව දහනව ලක්ෂ 68,716 ක් වනවා.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල හා සැසදීමේදී මෙවර මහ මැතිවරණයේ සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ද අඩු වී තිබෙනවා.

ඒ, විසි පන් ලක්ෂ 62,186 කින්.