Thursday, January 16, 2025

General line - 0115112241

හරිනි පසු කර විජිත පළමු තැනට




මහ මැතිවරණයකදී අපේක්‍ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතු කර ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අමාත්‍ය විජිත හේරත් මහතා සමත් වුණා. ඒ, මනාප හත් ලක්ෂ 16,715 ක් හිමි කර ගනිමින්. 

ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මනාප හය ලක්ෂ 55,289 ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්වුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර අදාළ වාර්තාවට හිමිකම් කීවේ අග්‍රාමාත්‍යවරියයි.

ඒ, මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාසගත වෙමින්.

මීට පෙර වැඩිම මනාප ලබාගෙන තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්. 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් ඔහු මනාප පන් ලක්ෂ 27,364ක් ලබාගෙන තිබුණා.

මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය හිමි කර ගත් ඡන්ද සංඛ්‍යාව අට ලක්ෂ 98,759 ක් වනවා. ඒ අනුව එම   දිස්ත්‍රික්කයේ ද වැඩිම මනාපලාභියා බවට පත් වීමට අමාත්‍ය විජිත හේරත් මහතා සමත් වුණා.

අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මනාප එක් ලක්ෂ 62,433 ක්, මහින්ද ජයසිංහ මහතා මනාප එක් ලක්ෂ 37,315 ක්, ක්‍රිශාන්ත සිල්වා මහතා මනාප එක් ලක්ෂ 21,825 ක්, මොහොමඩ් මුනීර් මහතා මනාප එක් ලක්ෂ 9,815ක් සහ අශෝක රන්වල මහතා මනාප එක් ලක්ෂ 9,332ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයෙන් ජයග්‍රහණ හිමිකරගත් අපේක්‍ෂකයන් අතරේ පෙරමුණේ පසුවනවා.

ජාතික ජන බලවේගයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හිමිවූ ආසන ගණන 16ක්. ඒ අනුව එන් ඩී විජේසිංහ, රුවන් නිශාන්ත මාපලගම ලසිත් භාෂණ සහ ප්‍රගීත් මධුරංග යන මහත්වරුන් එම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් හිමි කරගෙන තිබෙනවා.

එමෙන්ම සුදර්ශන චම්පික, ජේ ඒ රුවන්තිලක, හේමාලි සුජීවා, උපාලි ප්‍රියන්ත අබේවික්‍රම, ප්‍රියාන් ප්‍රනාන්දු සහ චමින්ද ලලිත් කුමාර යන මහත්ම මහත්මීන්ද පාර්ලිමේන්තු වරම් හිමි කර ගත් පිරිසට අයත්. 

මේ අතර සමගි ජන බලවේගයට ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන තුනක් හිමිව තිබෙනවා.

ඒ අනුව මනාප 67,004 ක් ලබා ගත් හර්ෂණ රාජකරුණා මහතා, මනාප 37,597ක් ලබා ගත් කාවින්ද ජයවර්ධන මහතා සහ මනාප 33,699 ක් ලබා ගත් අමිල ප්‍රසාද් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.