Wednesday, January 15, 2025

General line - 0115112241

විදේශ ගමන් බලපත්‍ර 66 ක් සමඟ යුවළක් පොලිස් අත්අඩංගුවට




විදේශ ගමන් බලපත්‍ර 66 ක් සමඟ සැකකාරියක් සහ සැකකරුවෙකු කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කහතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කහතුඩුව, සියඹලාගොඩ ප්‍රදේශයේ නිවසක සිදුකල වැලටලීමකදීයි.

එහිදී අදාළ නිවසේ තිබී එම විදේශ ගමන් බලපත්‍ර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 42 ක් වන අතර සැකකරු වයස අවුරුදු 38 වන සියඹලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. 

සැකකාරිය සිංගප්පූරුව, හොංකොං, ඩුබායි සහ රුමේනියා යන රටවල සේවය කර 2022 වර්ෂයේ මෙරටට පැමිණ සියඹලාගොඩ ප්‍රදේශයේ අදාළ සැකකරු සමඟ පදිංචිව සිට තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ විවිධ පුද්ගලයින්ට විදේශ රැකියා ලබාදෙන බව පවසා මොවුන් විසින් වසර දෙක හමාරක පමණ කාලයක සිට එම පුද්ගලයන්ගේ විදේශ ගමන් බලපත්‍ර රාජගිරිය ප්‍රදේශයේදී මාර්ගයන්වල රැඳී සිටිමින් ලබාගෙන ඇති බවයි.

පසුව ඒජන්සි හරහා වීසා අයදුම් කර රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණවලට කැඳවන බව පවසා එම පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 02ත් 03ත් අතර මුදල් ලබාගෙන එම විදේශ ගමන් බලපත්‍ර ද මොවුන් සන්තකයේ තබා ගෙන සිට තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකරුවන් පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20 ක් ද සොයාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.