Wednesday, January 15, 2025

General line - 0115112241

ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර කීපයක් අවලංගු වෙයි

ටී කේ ජී කපිල




කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම හේතුවෙන් ගුවන් ගමන් වාර කීපයක් අවලංගු වී තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් තවත් ගුවන් ගමන් වාර කීපයක් ප්‍රමාදවීම්වලට ලක්වූ බවයි.

එම ගුවන් යානා 03 තාක්ෂණික නඩත්තු කටයුතු සදහා යොමු කර ඇති බවත් එම කටයුතු සඳහා තරමක කාලයක් ගත වන බවත් එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව අද පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 123 දරන ගුවන් ගමනද සහ අද දින  රාත්‍රී 10.15 ට චෙන්නායි සිට කටුනායක වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

මීට අමතරව අද රාත්‍රී 10.10 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් ගමන සහ ඕස්ට්‍රේලියාවේ  මෙල්බර්න් නුවර සිට අද රාත්‍රී 10.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන ද අවලංගු කර තිබෙනවා.

ඒ පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවය එම ගුවන් යානාවලින් ගමන් පහසුකම් සලසා ගන්නා මගීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර කඩිනමින් එම ගුවන් ගමන්වල නිරත වීමට අවශ්‍ය ගුවන් මගීන් වෙනත් විකල්ප ගුවන් යානා මගින් අවශ්‍ය ගමනාන්තයන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.