Wednesday, January 15, 2025

General line - 0115112241

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට මැති සබයේදී විපක්ෂයේ පසුපස ආසන




10 වන පාර්ලිමේන්තුව ලබන 21 වනදා ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආසන වෙන් කිරීමේ කටයුතු ද පවතින නීති ක්‍රමවේදවලට අනුව මේ වන විටත් සිදුකර අවසන් බවයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනය වන ලබන 21 වනදා මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමක් සිදුවන්නේ නැහැ.

මන්ත්‍රීවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව ඊළඟ සභා වාරයේ සිට ආසන පැනවෙන බවයි වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා පැවසුවේ.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුට විපක්ෂයේ පිටුපස සිට ආසන පැනවෙන බවද ඔහු කියා සිටියා. 


මේ අතර 10 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු මේ වන විට සිදුවනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව නවක මන්ත්‍රීවරුන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කරන බවයි.

අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කරන බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවා.

10 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්බන්ධව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දින 03 ක වැඩමුළුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා. 

එම වැඩමුළුව ලබන 25, 26 සහ 27 යන දිනවලදී පාර්ලිමේන්තු කාමර අංක  01 හිදී පැවැත්වීමට නියමිතයි.

එහිදී අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ද නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් සිදු කරන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.