Wednesday, January 15, 2025

General line - 0115112241

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැටළුව නිසා සජබය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හිරවෙයි




සමගි ජන බලවේගය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේදී අර්බුද රැසකට මුහුණපා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

සමගි ජන බලවේගයට මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 05 ක් හිමි වූ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 02 ක් හිමි වුණා.

එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා පත් කරන පුද්ගලයින්ගේ නම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එම පක්ෂ දෙක පසුගිය දින දෙකේදී ද වෙන වෙනම සිදුකල සාකච්ඡා අසාර්ථක වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමේදී දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ ගිවිසුම් ගත වී තිබෙන අතර එම පක්ෂවලින් ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ඉල්ලීම හේතුවෙන් මේ දක්වා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කිරීමට නොහැකි වී ඇති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. 

එමෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳ සාකච්ඡාවක් කොළඹ, මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර එම සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.

කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලේඛනය ඊයේ දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. 

එමෙන්ම සර්ව ජන බලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නම් කර තිබෙනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නම් කළ බවයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ.