Monday, November 18, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

උදය කුමාර




පසුගියදා පැවැත් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඊට අමතරව විනිසුරු මඩුල්ල විසින් තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේ අදාල විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු අත්හිටුවන ලෙස දන්වමින්. 

එමෙන්ම අදාළ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ බවට චෝදනා එල්ල වී ඇති ප්‍රශ්න තුන සඳහා එම විභාගයට සහභාගී වූ සියලුම සිසු සිසුවියන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය ද ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මෙම විභාගයේ ප්‍රතිඵල පදනම් කරගෙන ජනප්‍රිය පාසල් වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලමින් විනිසුරු මඩුල්ල තවත් අතුරු නියෝගයක් ද නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. 

කෙසේවෙතත් මතුවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන  කලින් පිටවූ බවට චෝදනා එල්ල වී ඇති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීමට ඇති හැකියාව පිලිබඳව වගඋත්තරකරුවන්ගෙන් විමසන ලෙසටත් නියෝග කර තිබෙනවා. 

මීළඟ දින අධිකරණය හමුවේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් දෙසැම්බර් මස 02 වනදා යළි කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් දින නියම කළා.

අදාළ පෙත්සම් පිළිබඳව දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් සැප්තැම්බර් මස 15 වනදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න 03 ක් කලින් පිටවූ බව කියන සිද්ධිය හේතුවෙන් එම විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවයි.

ඊට පිළියමක් ලෙස කලින් පිට වූ බව කියන ප්‍රශ්න 03 සඳහා අදාළ විභාගයට පෙනී සිටි සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට බලධාරීන් විසින් තීරණයක් ගෙන තිබෙන බවත් ඒ තුළින් අදාල විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන්ට අගතියක් සිදුවිය හැකි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

මෙම ක්‍රියාව තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඔවුන් අධිකරණයෙන් අයැද සිටිනවා. 

ඊට අමතරව කලින් පිට වූ බව කියන ප්‍රශ්න 03 සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් 05 වසර ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිනවා.