Monday, January 13, 2025

General line - 0115112241

හරීන් CIDයට

එව් ඒ ඩබ්ලිව් නිරෝෂන්




ප්‍රශ්නගත එන්නත් මිලදීගැනීමේ සිද්ධියට එවක කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවට තමන් විශ්වාස නොකරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.

අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. 

ඒ අනුව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවට අවසරදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 01 හමුවේ පෙනීසිටින ලෙස හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙත දැනුම් දි තිබුණා. 

ඒ අනුව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හැර සෙසු පිරිස ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. 

මේ අතර ප්‍රකාශයක් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බි්‍රතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි. 

ඒ අනුව පැය 07ක කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.