Monday, December 23, 2024

General line - 0115112241

පළමු ටෙස්ට් තරඟයේදී ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ඕස්ට්‍රේලියා මුල් පෙළ අසරණ වෙයි




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. 

තරඟය පර්ත් හිදී පෙරවරු 07යි 50ට ආරම්භ වීමට නියමිතයි. ඊයේ දිනයේ තරඟය නිමා වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 07ක් දැවී ලකුණු 67ක් රැස් කරගෙන සිටියා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දැවී ගිය කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 12ක් හෝ පසු කර යාමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. 

ට්‍රැවිස් හෙඩ් ලකණු 11ක් සහ නේතන් මැක්ස්වීනි ලකුණු 10ක් රැස් කර සිටියදී දැවී ගියා. 

උස්මන් කවාජා රැස් කළේ ලකුණු 08ක් පමණයි. මිචෙල් මාෂ් නායක පැට් කමින්ස් ලකුණු 03කටත් දැවී ගියා. ස්ටීවන් ස්මිත්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. 

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 17කට කඩුලු 04ක් දවාගත්තා. 

මොහොමඩ් සිරාජ් කඩුලු 02ක් සහ හර්ෂිට් රානා එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

කෙසේවෙතත් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 150ක් පමණයි. 

නිතිෂ් කුමාර් ලකුණු 41ක් සහ රිෂබ් පාන්ට් ලකුණු 37ක් රැස් කළා. 

කේ එල් රාහුල් ලකුණු 26යි. කෙසේවෙතත් සෙසු කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකුට ලකුණු 12ක් රැස් කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. 

ජෝෂ් හේසල්වුඩ් කඩුලු 04ක් බිඳ හෙළුවා. මිචෙල් ස්ට්‍රක්, පැට් කමින්ස් සහ මිචෙල් මාෂ් කඩුලු 02 බැගින් දවා ගත්තා.