Monday, January 13, 2025

General line - 0115112241

වේයන්ගොඩ නිධානයේ කැණීම් අදත්




වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු තවදුරටත් සිදු වනවා. 

මෙම කැණීම් කටයුතු ආරම්භ වූයේ ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ස්ථානයකයි. 

එම ස්ථානයේ නිධානයක් සොයා පසුගිය කාලයේ සිට විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව කැණීම් කටයුතු සිදු කර තිබූ අතර, එහිදී අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

එවන් පසුබිමක් තුළ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝග පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ ස්කෑන් පරීක්ෂණවලදී පොළොව අභ්‍යන්තරයේ යම් දෙයක් ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය, වේයන්ගොඩ පොලීසියට නියෝග කර තිබුණේ මහජනතාව ඉදිරියේ එම ස්ථානයේ කැණීම් සිදු කරන ලෙසයි. 

මේ අතර අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මීට පෙර එම ස්ථානයට ආසන්න ස්ථාන දෙකක පරික්‍ෂා කිරීම් සිදු කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කෙසේවෙතත් එම ස්ථාන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන නොවන බවට අනාවරණ වූ බවයි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ. 

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමිය ආශ්‍රිතව සිදු කරන කැණීම්වලදී නිධානයක් ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බවද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසුවා.