Monday, January 13, 2025

General line - 0115112241

අර්බුද මැද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සජබය සැරසෙයි




සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කිරීම සම්බන්ධයෙන් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පක්ෂ දෙක තුළ අර්බුද රැසක් මතුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. 

සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 05 ක් හිමි වූ අතර එම පක්ෂයේ මහ ලේකම්වරයා වන රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම පමණක් යෝජනා කර මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදී තිබෙනවා. 

කෙසේවෙතත් අනෙක් මන්ත්‍රී ධූර 04 නම් කිරීමේදී සමගි ජන බලවේගය සමග ගිවිසුම් ඇති කරගත් පක්ෂ රැසක්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ඉල්ලීම හේතුවෙන් සමගි ජන බලවේගය තුළ අර්බුද රැසක් මතුවී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.           

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අනෙකුත් පක්ෂ නායකයින් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර එවා එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 02 ක් හිමි වූ අතර එම එක් මන්ත්‍රී ධූරයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නම යෝජනා කර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.
 

කෙසේවෙතත් අදාළ නම යෝජනා කර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීම සම්බන්ධයෙන් ද මේ වන විටත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතයින් විවේචනාත්මක අදහස් පළ කරමින් සිටිනවා. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට තවත් එක් මන්ත්‍රී ධූරයක් ජාතික ලැයිස්තුවෙන් හිමිව ඇති අතර අදාළ මන්ත්‍රී ධූරය ලබා ගැනීම සඳහා පක්ෂ රැසක්ම ඉල්ලුම් කිරීම හේතුවෙන් එම මන්ත්‍රී ධූරය ද නම් කිරීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.
 

මේ අතර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ගන්නා බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවා.


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.