Monday, December 23, 2024

General line - 0115112241

ආණ්ඩුව මුහුණ දෙන බරපතළ ම අභියෝගය රට මුහුණ දෙන විශාල ණය බරයි.- පාඨලී




ජාතික ජන බලවේගය ආණ්ඩුව මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ ලංකාවේ පවතින අධික ණය බර බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

2022 වසර වන විට ද්විපාර්ශ්වික විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 28 කට ආසන්න වී තිබූ බවත්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබා ගත් බහුපාර්ශවීය ණය ඩොලර් බිලියන 11 ක් පමණ ද, ඉහත ණය මුදලට අමතරව ශ්‍රී ලංකාවට දරන්නට සිදු ව ඇති බව ඔහු පෙන්වා දෙන්නේ 

ඔහු මේ බව ප්‍රකාශ කළේ, “මහජනයා පැතූ 'වෙනස' නව රජයට උදා කළ හැකි වේද?” - නව රජයෙන් මහජනයා බලාපොරොත්තු වන ආර්ථික, සමාජීය සහ දේශපාලනික වෙනස යථාර්ථයක් කිරීමේ අභියෝගය යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින්  පස්වරුවේ සංවිධානය කෙරුණු ‘ජනරජ කතිකාව’ සාකච්ඡාමය වැඩසටහනේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ආණ්ඩුව මුහුණ දෙන තවත් අභියෝගයක් වන්නේ, පවත්නා ආර්ථික තත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාර ව පවත්වා ගෙන යමින් ඔවුන් විසින් පොරොන්දු වූ සුබසාධන පොරොන්දු පත්‍රය ඉටු කිරීමේ අභියෝගය බව ද, පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියා.

2022 අප්‍රේල් මස 12 වෙනි දින ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කරන විට ශ්‍රී ලංකාව විසින් ගෙවා නොමැති ණය සහ පොළිය ඩොලර් බිලියන 8 ඉක්මවා තිබූ බවයි එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා පෙන්වා දුන්නේ.

විශේෂයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය රජය විසින් ඇති කර ගත් ගිවිසුමේ එකඟතා වෙනස් කිරීමට තමන් බලයට පත් වූ පසු කටයුතු කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ නමුත්, ඔවුන් තවදුරටත් එම ගිවිසුම මෙන් ම පසුගිය රජය විසින් ඉදිරියට ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ ම ඉදිරියට ගෙන යමින් සිටින බව ද පෙන්වා දුන්නේ ය. 

පවතින ආණ්ඩුවේ බලධාරීන් තිදෙනා ආර්ථික විෂයය සම්බන්ධයෙන් ප්‍රායෝගික අවබෝධයක් නොමැති බව පෙනී යන බවත්, ඒ අනුව නිලධාරීන් විසින් දේශපාලකයන් කඩේ යවන තත්ත්වය රටට හිතකර නොමැති බව ද හෙතෙම සඳහන් කර සිටියා.

රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර වැනි කීර්තිමත් නිලධාරීන්ට රාජපක්ෂ රජය මගින් සිදු කෙරුණු කෙනෙහිලි කම් සම්බන්ධව සිහිපත් කළ රණවක මහතා, ඔවුන් කෙතරම් කීර්තිමත් දක්ෂ නිලධාරීන් වුව ද, පාස්කු ප්‍රහාර සම්බන්ධ කාල සීමාව තුළ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ වූ බැවින් ඔවුන් පාස්කු විමර්ශනවලින් ඉවත් කොට එම විමර්ශන සිදු කළ යුතු බවත්, එය ඔවුන්ට පවා හොඳ බව හෙතෙම ප්‍රකාශ කර සිටියා.