Monday, December 23, 2024

General line - 0115112241

වනිඳු ඉන්දීය රුපියල් කෝටි පහකට සහ මහීෂ් තීක්ෂණ කෝටි හතරකට අධික මුදලකට රාජස්ථාන් මිලදී ගනී




අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබෙනවා. 

ඒ, 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සෞදි අරාබියේදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදීයි. 

ඒ අනුව වනිඳු හසරංග මිලදී ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් පන් කෝටි  විසිපන් ලක්ෂයක මුදලකටයි. 

රාජස්ථාන් රෝයල් කණ්ඩායම ඉන්දීය රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයකට මහීෂ් තීක්ෂණ ද මිලදී ගෙන තිබෙනවා. 

මෙම වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 29 දෙනෙකු ලියාපදිංචි වූ අතර ඒ අතරින් ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කර ඇත්තේ ක්‍රීඩකයන් 19 දෙනෙකු පමණයි.

අයි පී එල් ඉතිහාසයේ මේ වන විට වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දියාවේ රිෂාබ් පාන්ට් ඊයේ සමත් වුණා. 

ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම ඔහු මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 27 ක මුදලකටයි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන මාර්තු මස 14 වනදා සිට මැයි මස 25 වනදා දක්වා පැවැත්වෙනවා. 

ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,574 ක් ලියාපදිංචි වූ අතර එම ක්‍රීඩකයින් අතරින් ක්‍රිඩකයන් 574 දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා තෝරාගෙන තිබෙනවා. 

එම ක්‍රීඩකයින් අතරින් 366 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර අනෙකුත් සෙසු ක්‍රීඩකයන් විදෙස් ක්‍රීඩකයන් වනවා. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද දිනයේදී ද සෞදි අරාබි, ජේඩා නුවරදී පැවැත්වෙනවා.