Monday, December 23, 2024

General line - 0115112241

ප්‍රභාකරන්ගේ නිවසේදී ඔහුගේ 70 වෙනි උපන් දිනය සමරයි

දිනසේන රතුගමගේ




හිටපු එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ හැත්තෑවෙනි උපන් දිනය සැමරීමට වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ පස්වරුවේ උපන් දින සාදයක් පවත්වා තිබෙනවා. 

ප්‍රභාකාරන්ගේ ඥාතියෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් එම අවස්ථාවේදී කේක් කපා පැමිණ සිටි පිරිසට සංග්‍රහ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අනතුරුව ප්‍රභාකරන්ගේ ඡායාරූපයකට මල් දමක් පලදවා ඔහුට පින් අනුමෝදන් කරවීමද සිදු කර තිබෙනවා. 

රැස්ව සිටි පිරිස ප්‍රභාකරන්ගේ නිවස ඉදිරිපිට පැල කිහිපයක් ද රෝපණය කර ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. 

එම අවස්ථාවේදී යාපනයේ අරක්ෂක අංශ නිලධාරීන් රැසක් අදාළ ස්ථානයට පැමිණ සිට තිබෙනවා. 

එම්.කේ ශිවාජිලිංගම් විසින් ප්‍රභාකරන්ගේ නිවස අසල උපන් දිනය සැමරිම පිණිස කේක් කපද්දී වසර හතක්ම යපනයේ ආරක්ෂක අංශ විසින් ඔහුව අත් අඩංගුවට ගන්නා ලද නමුත් මෙවර එවැනි පරිසරයක් යාපනයේදී දක්නට නොලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උතුරේ මහවිරු සැමරුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බවට සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රවෘත්තියක් ප්‍රචාරය වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසනවා. 

එල් ටී ටී ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්, ලාංඡන සහ ඡායාරූප යොදා ගනිමින් මියගිය සාමාජිකයන් සැමරීමට බාධාවක් නොමැති බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ. 

කෙසේවෙතත් එලෙස ප්‍රචාරය වන්නේ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශය අර්ථය වෙනස් වන පරිදි සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශනයක් බවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන්.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ නිත්‍යානුකූලව සිය ඥාතියෙකුගේ මියයාම සැමරීමට ඕනෑම අයෙකුට ඉඩ ඇති නමුත් මහවිරු සැමරුම් සිදු කිරීමට ඉඩකඩක් නොමැති බවයි. 

එල් ටී ටී ඊ ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ භාවිත කිරීමට ඉඩකඩ නොමැති බවත් ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල් ටී ටී ඊ සංවිධානය තහනම් සංවිධානයක් බවත් අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.