Monday, December 23, 2024

General line - 0115112241

ශූරයන්ගේ කුසලාන තරඟාවලිය ගැන අවසන් තීරණයක් ගැනීමට ICCය අද රැස්වෙයි




අයි සී සී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සැලසුම් කර ඇති පරිදි පකිස්තානයේදී පවත්වනවාද? නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද රැස්වීමට නියමිතව තිබෙනවා. 

ඉන්දීය කණ්ඩායම පකිස්තානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. 

ඒ අනුව තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීම සඳහායි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද විශේෂ රැස්වීමක් කැඳවා ඇත්තේ. 

එහිදී තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනා තුනක් සැලකිල්ලට ගැනීමට නියමිතයි. 

ඉන් පළමු යෝජනාව වන්නේ ඉන්දියාව ක්‍රීඩා කරන තරඟ වෙනත් රටකදී පවත්වා තරඟාවලියේ සෙසු තරඟ පකිස්තානයේදී පැවැත්වීමයි. 

සම්පූර්ණ තරඟාවලියම පකිස්තානයේ සත්කාරකත්වයෙන් ඉවත් කර වෙනත් රටකදී පැවැත්වීම දෙවන යෝජනාව වනවා. 

ඉන්දියාව නොමැතිව සම්පූර්ණ තරඟාවලිය පකිස්තානයේදී පැවැත්වීම තුන්වන යෝජනාවයි. 

ඉන්දියාව නොමැතිව මෙම තරඟාවලිය පැවැත්වීම වාණිජමය වශයෙන් දැඩි ඍණාත්මක බලපෑමක් ඇති කරනු ලබන බව බොහෝ පාර්ශව පෙන්වා දෙනවා. 

ඉන්දියාව මෙම තරඟාවලිය සඳහා පකිස්තානයට නොපැමිණියහොත් ඉදිරියේදී ඉන්දියාවේ පැවැත්වෙන තරඟවලට ක්‍රීඩා නොකිරීමට තීරණයක් ගන්නා බවයි පකිස්තාන බලධාරීන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ. 
 

කණ්ඩායම් 08ක් සහභාගීවීමට නියමිත ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරඟය පැවැත්වීමට දැනට සැලසුම් කර තිබෙන්නේ ලබන වසරේ පෙබරවාරි 19 සහ මාර්තු 09 අතර කාලසීමාව තුළදීයි.