Monday, December 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. 

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 191 ක් රැස් කළා. 

නායක ටෙම්බා බවුමා රැස්කළ ලකුණු සංඛ්‍යාව 70 ක්. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කඩුළු 3 බැගින් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 13 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 42 ක් පමණයි. 

එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 13 ක්. 

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. 

දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
 

සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 366 ක් රැස්කර සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.    

ඒ අනුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 282 ක් පමණයි. 

දිනේෂ් චන්දිමාල් ලකුණු 83 ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 59 ක් රැස් කළා. 

කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 48 ක් රැස්කර සිටියදීයි. ඇන්ජලෝ මැතීව්ස් ලකුණු 25 යි.

පළමු ඉනිමේදී කඩුලු 7 ක් සහ දෙවෙනි ඉනිමේදී කඩුලු 4 ක් දවාගත් මාර්කෝ ජැන්සන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය දෙසැම්බර් 05 වනදා ආරම්භ වීමට නියමිතයි.