Monday, December 23, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ අර්බුදයක් - ජනපති යුද නීතිය පනවයි - පාර්ලිමේන්තුව ඉවත් කරයි




දකුණු කොරියාවේ අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. මෙම අර්බුදයට හේතු වූයේ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් විසින් එරට ට යුද නීතිය පැනවීමත් සමගයි. 

උතුරු කොරියානු කොමියුනිස්ට් බළකාවලින් රට ආරක්ෂා කරගැනීමටත් රාජ්‍ය විරෝධීන් විනාශ කිරීමටත් එම තීරණය ගත් බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 

කෙසේවෙතත් දකුණු කොරියානු ජනපතිවරයාගේ එම තීරණයට එරට විපක්ෂයෙන් මෙන්ම ඔහුගේ පක්ෂයෙන්ද දැඩි විරෝධයක් එල්ල වුණා. 

විරෝධතාකරුවන් වීදි බැස සිය විරෝධතාවල නිරත වූ අතර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්ද සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුද නීතිය පැනවීමත් සමග විරෝධතාකරුවන් දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටද විරෝධතාවල නිරත වුණා. 

ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශ කිරීමෙන් පැය දෙකකටත් අඩු කාලයකට පසු, එරට මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට විරුද්ධව දකුණු කොරියාව ජාතික සභාවට රැස්වී ඔහුගේ පියවර වැලැක්වීමට ඡන්දය ප්‍රකාශ ප්‍රකාශ කළා.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 300 දෙනාගෙන් ඒ අවස්ථාවේ පැමිණ සිටි 190 දෙනෙකුම ඡන්දය ප්‍රකාශ කර තිබුණා. 

ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට සිදු වුණේ ඔහු පැනවූ යුද නීතිය ඔහුටම ඉවත් කිරීමටයි.

දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසුවේ, යුද නීතිය ඉවත් කරන ලෙස ජාතික සභාව කළ ඉල්ලීමෙන් පසු, යුද නීතිය ඉවත් කර ගත් බවයි. 

දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් තම රට කිසිදු දැනුවත් කිරීමක් නොතිබූ බව දකුණු කොරියාවේ ප්‍රධාන උපායමාර්ගික සහ ආරක්ෂක හවුල්කරුවෙකු වන අමෙරිකාවද පවසා තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය අද උදෑසන වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සම්බන්ධයෙන් විපක්ෂය සැලසුම් කරමින් සිටින බවයි.