දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.
ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ පස්වරුවේ එම අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ඩිජිටල්කරණය තුළින් ආර්ථික කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කර රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.
දිළිඳුබව තුරන් කිරීම, සමාජීය ආකල්ප වෙනස් කිරීම සහ ඩිජිටල්කරණය රජයේ ප්රමුඛ අරමුණු වන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් රටක් සංවර්ධනය නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මීට දශක දෙකකට පෙර ඉදිකිරීම් අමාත්‍යංශයක් පැවතුණු බව සිහිපත් කළ අතර මේ වන විට සෑම අමාත්‍යාංශයකින්ම සිදු කරන්නේද ඉදිකිරීම් පමණක් බවද එහිදී පෙන්වා දුන්නා.
ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ඉපැයීමට ද සැලසුම් කර ඇති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.
ඩිජිටල් ශ්‍රම බලකාය ලක්ෂ දෙක දක්වා වැඩි කිරීම, සමස්ත රටම ඩිජිටල්කරණය ඉදිරි වසර පහ තුළ ඉටු කිරීමට අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට එහිදී අවධානය යොමු කෙරුණු බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ඉංජිනේරු එරංග වීරරත්න මහතාද මෙම අවස්ථාවේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ICTA ආයතනයේ සභාපති හාන්ස් විජේසූරිය යන මහත්වරු ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.