Monday, December 23, 2024

General line - 0115112241

රටින් පැන ගිය සිරියානු ජනපති රුසියාවට




කැරලිකරුවන් විසින් සිරියාවේ බලය අල්ලා ගැනීමත් සමඟ එරටින් පැන ගිය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් රුසියාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා. 

රුසියාවට පලා ගිය බෂාර් අල් අසාද්ට එරට සරණාගත භාවය ලබාදී ඇති බවට ද වාර්තා පළ වනවා. 

බෂාර් අල් අසාද්ගේ වසර 24 ක පාලනය අවසන් කරමින් සිරියානු කැරලිකරුවන් ඩමස්කස් අගනුවර බලය අල්ලා ගත්තේ ඊයේ දිනයේදීයි. 

ඒ සමඟින් දශක 05 කට අධික සිරියාවේ අසාද් පාලනය බිඳ වැටුණා.

සිරියාවේ සිදු වූ මෙම දේශපාලන පෙරලිය පිළිබඳ මේ වන විට සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. 

චීනය ප්‍රකාශ කර ඇත්තේ සිරියාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. 

හැකි ඉක්මනින් එරට තුළ ස්ථාවරත්වය නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද චීනය පවසා තිබෙනවා.

සිරියාවේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද හදිසියේ රැස්වීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 

රුසියාවේ ඉල්ලීම පරිදි ජගත් ආරක්ෂක මණ්ඩලයේ එම හදිසි රැස්වීම පැවැත්වීමට නියමිත බවද එම වාර්තාවල සඳහන්.