තමන් කිසිදු විටෙක සටන අත්නොහරින බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් පවසනවා.
පසුගිය සතියේ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට තමා තීරණය කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා බවයි ඔහු පවසන්නේ.
එරට රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා කියා සිටියේ තමා උත්සාහ කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම වැලැක්වීමට සහ විපක්ෂයේ පාර්ලිමේන්තු ආඥාදායකත්වයට එරෙහි වීමට බවයි. ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සහ දෝෂාභියෝගයක් එල්ල වුවද තමා ඉල්ලා අස් නොවන බවයි දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් එහිදී පවසා ඇත්තේ.
තමා අවසානය දක්වා සටන් කරන බවද ඔහු අවධාරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයාට මෙන්ම ඔහුගේ සමීපතමයින්ට ද මේ වන විටත් කැරලි චෝදනා එල්ල වී ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට සංචාරක තහනමක් ද පැනවීමටයි කටයුතු කර ඇත්තේ.
කෙසේවෙතත් පසුගිය සති අන්තයේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට දැරූ උත්සාහය අසාර්ථක වුණා.
ඒ, ඔහුගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය වර්ජනය කිරීමෙන් පසුවයි.
එහෙත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම සති අන්තයේ ද තවත් දෝෂාභියෝග ඡන්දයක් පැවැත්වීමටයි සූදානම් වන්නේ.