Monday, December 23, 2024

General line - 0115112241

ප්‍රංශ නව අගමැති අද පත් කරන ලකුණු.




ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් අද නව අගමැතිවරයෙකු නම් කරනු ඇති බව එරට ජනාධිපති කාර්යාලය පවසනවා. 

ඒ, ප්‍රංශ මන්ත්‍රීවරුන් විශ්වාසභංගයකින් මයිකල් බාර්නියර් අගමැති ධුරයෙන් නෙරපා  හැරීමෙන් දින කිහිපයකට පසුවයි. 

බාර්නියර් මෙලෙස සිය ධුරයෙන් නෙරපා හැරියේ මාස තුනක පමණ පාලන කාලයකින් පසුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.  

මෙය ප්‍රංශ ඉතිහාසයේ අගමැතිවරයෙකුගේ කෙටිම ධුර කාලයයි. 

කෙසේවෙතත් ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් දින දෙකකට පෙර කියා සිටියේ පැය 48ක් ඇතුළත අගමැතිවරයෙකු නම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි. 

දේශපාලන විචාරකයින් සඳහන් කර ඇත්තේ හැකි පුළුල්ම ආණ්ඩුව පිහිටුවීමට මැක්‍රොන් සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවයි. 

මේ අතර 2025 අයවැය වාර්තාව තවමත් පාර්ලිමේන්තුව විසින් සම්මත කර නොමැති අර්බුදකාරී පසුබිමක් තුළ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ටද ඉල්ලා අස්වන ලෙසට විරුද්ධ පක්ෂ බල කර තිබෙනවා. 

කෙසේවෙතත්, ජනාධිපතිවරයා රූපවාහිනී සාකච්ජාවකදී කියා සිටියේ ඔහුගේ පස් අවුරුදු ධූර කාලය අවසන් වන තුරුම ධුරයේ රැඳී සිටින බවයි.