සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් සැඟවූ සැකකරුවන් දෙදෙනෙකු ඌරගස්මංහන්දිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වල්ඉඟුරුකැටිය ප්රදේශයේ පදිංචි එම පුද්ගලයා පසුගිය 09වන දින කුරුඳු තැලීම සඳහා මාතර ප්රදේශයට යන බව පවසා නිවසෙන් පිටත්ව ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එහෙත් 11වන දින තෙක් ඔහු නිවසට නොපැමිණීම පිළිබඳව පවුලේ ඥාතීන් විසින් ඌරගස්මංහන්දිය පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම පුද්ගලයා මැන්ඩෝරාවල ප්රදේශයේ පිහිටි ඥාති සහෝදරියකගේ නිවසට ගොස් එහි පාපැදිය දමා අසල වෙල් යායකින් එගොඩ වී ඇති බවයි.
එම පුද්ගලයාගේ මෘත ශරීරය එම ප්රදේශයේම පාළු ඉඩමක වැසිකිලි වළකට දමා ඇති බවට පොලීසිය වෙත තොරතුරක් ලැබී තිබෙනවා.
තවදුරටත් සිදු කරන ලද විමර්ශනවලදී එම ප්රදේශයේ සතුන් දඩයම් කිරීම සඳහා විදුලි රැහැන් අදින පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් විසින් හඳුනාගෙන තිබෙනවා.
තමන් විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔවුන් දෙදෙනා විසින් ප්රකාශ කළ බවයි පොලීසිය පැවසුවේ.
අදාළ මෘත ශරීරයද කිසිවෙකු නොදන්වා පාළු ඉඩමක වැසිකිළි වළකට දැමීමට ඔවුන් දෙදෙනා කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඌරගස්මංහන්දිය ප්රදේශයේ පදිංචි එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.