Monday, December 23, 2024

General line - 0115112241

යාපනයේ මීඋණ වැළඳුණු රෝගීන් සංඛ්‍යාව 112ක් දක්වා ඉහළට

දිනසේන රතුගමගේ




යාපනයේ ප්‍රදේශයේ මීඋණ වැළඳුණු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 112ක් දක්වා ඉහළ ගොස් ඇති බව යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආරුමුගම් කේතීස්වරන් මහතා පවසනවා. 

එම රෝගීන් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා පේදුරුතුඩුව මන්තිහෙයි රෝහලේ පිහිටුවා ඇති විශේෂ ප්‍රතිකාර ඒකකයේ රඳවා ප්‍රතිකාර ලබා දෙන බවයි ඔහු පැවසුවේ. 

මීඋණ රෝගය පාලනය කරගැනීම සඳහා යාපනයේ පුද්ගලයින් 8,264කට ප්‍රතිජීවක ඖෂධ ලබාදී තිබෙනවා. 

එමෙන්ම මීඋණ රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතුද නොකඩවා සිදු කෙරෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ. 

මීඋණ රෝගය මර්දනය කිරීම සහ රෝගය පැතිරයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට කොළඹ සිට විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් තුනක් යාපනයට ප්‍රදේශයට පැමිණීමට නියමිත බවයි ඔහු කියා සිටියේ. 

මීඋණ හේතුවෙන් මේ වනවිට යාපනය සහ මුලතිව් ප්‍රදේශවල මියගිය පුද්ගලයින් ගණන 08ක්.