Monday, December 23, 2024

General line - 0115112241

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකාය නම් කරයි




“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබෙනවා. 

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුවයි. 

ඒ අනුව මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයින් 18 දෙනෙකු නම්කර තිබෙනවා. 

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම මෙහි අරමුණු වන බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. 

පාරිසරික, ආර්ථික හා සමාජීය තිරසරභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් අවශ්‍ය බැවින් එම අරමුණු ළඟාකර ගැනීමද මෙහි තවත් අරමුණක් බවයි එහි දක්වා ඇත්තේ. 

පසුගිය 02වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමටයි තීරණය වුණේ. 

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, වැඩබලන පොලිස්පති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති කුමුදු ලාල් ද සිල්වා, අයි. එස්. ජයරත්න, ගිහාන් ද සිල්වා, සන්ධ්‍යා සල්ගාදු, ගාමිණි බටුවිටගේ යන මහත්ම මහත්මීන් එම බලකායේ සාමාජිකයන් අතරට අයත්. 

එමෙන්ම අනුරුද්ධ ගමගේ, දිල්රුක් වනසිංහ, දීපාල් සූරීයආරච්චි, සිසිර අමරබන්දු, ක්‍රිශාන්ත කුරේ, ජයතු පෙරේරා, රුවන් වීරසූරිය, දයාන් කරුණාරත්න යන මහත්වරුන්ද මෙම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජනාධිපති කාර්ය සාධක බලකායට අයත් සෙසු සාමාජිකයින් වනවා.