Monday, December 23, 2024

General line - 0115112241

ජනපති ජනවාරි පළමුවනදා ජාතිය අමතයි




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි පළමුවනදා ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. 

ඒ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහායි. 

එම වැඩසටහන හරහා කාර්යයන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතව තිබෙනවා. 

ඉන් එකක් වන්නේ රථවාහනවල නලා ශබ්දයෙන් තොර කලාප හඳුන්වා දීමයි. 

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන්ද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පහසුකම් සැලසෙනවා.

එමෙන්ම පෙර පාසල් මෙන්ම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

 ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයද සහය ලබා දීමට මේ වන විටත් එකඟතාව පළ කර ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. 

ඒ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා පැවති සාකච්ඡාවකදීයි. 

එම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මේ අතර ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ද ස්ථාපිත කර තිබෙනවා. 

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුවයි. 

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම ජනාධිපති කාර්ය සාධක බලකායට සාමාජිකයින් 18 දෙනෙකු ඇතුළත් වනවා.

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම මෙහි අරමුණු වන බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. 

පාරිසරික, ආර්ථික හා සමාජීය තිරසරභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් අවශ්‍ය බැවින් එම අරමුණු ළඟාකර ගැනීමද මෙහි තවත් අරමුණක් වනවා. 

පසුගිය 02වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමටයි තීරණය වුණා.

මේ අතර ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද කොළඹ පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවේදී අදහස් පළ කළා.